ශ්‍රී නිමල් පද්මකුමාර , ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මාධ්‍යවේදියෙකි. 1954 දී උපත ලද ශ්‍රී නිමල් මුලින්ම අකුරු කරවූයේ හලා/කොස්වාඩිය සරස්වතී විද්‍යාලයෙනි. පසුව මහවැව මහා විද්‍යාලය, පොතුවිල මහා විද්‍යාලය ආදී පාසැල් තුළ ප්‍රාථමික අධ්‍යාපනය ලබා මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය හා අළුත්ගම මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය. 1977 දී ගුවන් විදුලියේ රුවන් කැළුම් වැඩ සටහනින් ගුවන් විදුලියට පා තැබූ ඔහු විවිධ වැඩ

සටහන් රැසක් සඳහා මුල් යුගයේදීම කටහඬ සැපයීය. 1979 දී ගුවන්විදුලියේ සහන නිවේදකයෙකු ලෙස සමත් වන හෙතෙම 1981 දී රූපවාහිනියේ සංවර්ධන ලොතරැයි " වාසනා චක්‍රය" වැඩ සටහන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ලොතරැයි වැඩසටහන් ඉදිරිපත් කළ නිවේදකයා බවට පත් වන්නේය. පසුකලෙක නිවේදක ප්‍රේමකීර්ති ඝාතනය වීමෙන් පසුව " සම්පත් සාදය" ගුවන්විදුලි වැඩ සටහන හා "සම්පත් රේඛා" රූපවාහිනී වැඩ සටහනද මෙහෙයවීය.

1983 දී " රේඛා" ටෙලි නාට්‍යයෙන් රූපවාහිනී නාට්‍ය ශිල්පියෙකු ලෙස දොරට වඩින ශ්‍රී නිමල් , රූපවාහිනී කතා මාලා රැසක චරිත නිරූපණය කළේය. ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ විවිධ සජීව වැඩසටහන් රැසක් මෙහෙයවූ ඔහු රූපවාහිනී මාධ්‍ය තුළ අධ්‍යාපනික , ආගමික හා වෙළඳ  වැඩ සටහන් රැසක මෙහෙයවන්නා බවට පත් විය.

1974 දී කලාවැව මැතිවරණ කොට්ඨාශයේ පැවැති අතුරු මැතිවරණයට සම්බන්ධ වෙමින් දේශපාලන කටයුතු වලට එක්වන ඔහුගේ දේශපාලන ජීවිතය අත්දැකීම් රැසක එකතුවකි. පසුකලෙක 1977 දී මහවැලි අධිකාරියේ ප්‍රවෘත්ති හා ප්‍රචාරක නිලධාරියෙකු ලෙස රජයේ රැකියාවක නියුතු වන ශ්‍රී නිමල් 1998 වසරේ මහවැලියෙන් ඉල්ලා අස්වෙද්දී ඔහු මහවැලි කේන්ද්‍රයේ නියෝජ්‍ය කළමණාකාර (ප්‍රචාරක) තනතුරේ සේවය කළේය.

1984 දී " මුවන් පැලැස්ස " ගුවන්විදුලියේ "ජන්තු" ගේ චරිතයට හඬ පොවමින් එක්වන ශ්‍රී නිමල් 1995 දී එවකට රචකයා වූ වික්ටර් මිගල් මහතාගේ අභාවයෙන් පසු 2010 දක්වා වසර 15 ක් මුවන් පැලැස්ස ගුවන්විදුලියට රචනා කළේය. පසුව නිෂ්පාදනය වූ " කෝරළේ මහත්තයා " ටෙලිනාට්‍ය මාලාවේ කතාංග 220 ක තිර නාටක හා දෙබස් රචකයා ලෙසද කටයුතු කළේය. 2017 දී ග්‍රන්ථකරණයට පිවිසෙන ශ්‍රී නිමල් මේ වන විට පොත් රැසක් ලියා ඇත
1981 දී ශ්‍රියානි මල්ලිකා සමග විවාහ වන ශ්‍රී නිමල් දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. දිස්නි තරින්දා දියණිය හා වාදීභ චතුර ශ්‍රී පුතණුවන් ඔහුගේ දරුවන්ය.